Tuesday, May 8, 2018

හොඳ VPN එකක් තෝරගන්නේ මෙහෙමයි

https://assets.roar.media/Tech-Sinhala/2018/03/VPN-1.jpg

හොඳ VPN එකක් තෝරගන්නේ මෙහෙමයි

23 MARCH 2018
By Rasika Nanayakkara
VPN එහෙමත් නැතිනම් Virtual Private Network කියන තාක්ෂණික උපක්‍රමය පහුගිය දවස්වල අපේ රටේ බොහෝ දෙනෙක් පාවිච්චි කරන ජනප්‍රියම තාක්ෂණයක් බවට පත්වුනා. VPN කියන අකුරු තුනෙන් අදහස් වෙන දේ ගැනවත් අදහසක් නැති වුණත්, බොහෝ දෙනෙක් තමන්ගේ අන්තර්ජාල අවශ්‍යතාවයන් ඉටුකරගන්න VPN සරණ ගිය හැටි පහුගිය කාලයේ දී අපි දැක්කා. මොකක්ද මේ VPN එකක් කියන්නේ, කොහොමද අපි හොඳ VPN එකක් තෝරගන්නේ, අද අපි ඒ ගැන සාකච්ඡා කරමු.

මොකක්ද VPN එකක් කියන්නේ?

nevsedoma.com.ua
ඉතාම සරලව පවසනවා නම්, VPN, එහෙමත් නැතිනම් Virtual Private Network, කියන්නේ ආරක්ෂිතව අන්තර්ජාලයට සම්බන්ධ වෙන්න පුළුවන් ක්‍රමවේදයකට. පුද්ගලික හෝ පොදු ඕනෑම අන්තර්ජාල සම්බන්ධතාවයක ඇති ආරක්ෂාව තවත් වැඩිකරන්න භාවිතා කරන තාක්ෂණික උපක්‍රමයක් තමයි VPN. තමන්ගේ දත්ත සහ තොරතුරු අන්තර්ජාලය තුළ දී වඩාත් ආරක්ෂිතව හුවමාරු කරගන්න අවශ්‍ය පහසුකම VPN හරහා ලබා දෙනවා.
උදාහරණයකින් පැහැදිලි කරනවා නම්, ඔබේ නිවසේ සිට බස් නැවතුමට ගමන් ගන්නා මහාමාර්ගය ගැන හිතන්න. ඒ මහාමාර්ගයේ ගමන් කරන අය කවුද, ඔවුන් ඇඳගෙන යන ඇඳුම් මොන වගේ ද, ඔවුන් පාවිච්චි කරන වාහන මොනවද, මේ ඕනෙම දෙයක් පාර අයිනේ ඉඳන් බලාගෙන ඉන්න ඔබට පේනවා. දැන් හිතන්න කවුරුන් හෝ සමාගමක් විසින් අර මහාමාර්ගයේ කොටසක් තහඩුවලින් හරි වෙන විදියකට හරි හැම පැත්තෙන්ම ආවරණය කරලා පිටතට නොපෙනෙන ආරක්ෂිත මාර්ගයක් නිර්මාණය කරනවා. දැන් ඒ ආරක්ෂිත මාර්ගයේ ගමන් කරන මිනිසුන්, වාහන, මේ කිසිම දෙයක් පාරේ අයිනේ ඉන්න ඔබට පෙනෙන්නේ නැහැ නේද?
උදාහරණය අපේ ඇත්ත තත්ත්වයට ආදේශ කෙරුවම, ඔබේ නිවසේ සිට බස් නැවතුමට තිබුණ සාමාන්‍ය මාර්ගය තමයි ඔබේ අන්තර්ජාල සම්බන්ධතාවය. ඒ සාමාන්‍ය මාර්ගයේම කොටසක් ආවරණය කරලා හදපු ආරක්ෂිත මාර්ගය තමයි VPN එක.
ඒ වගේම VPN හරහා ලබා දෙන වෙනත් සේවාවනුත් තිබෙනවා. ඔබගේ අන්තර්ජාල නිර්නාමිකත්වය (anonymity) ආරක්ෂා කර දීම, Geo-spoof, එහෙමත් නැතිනම් තමන් සිටින ස්ථානය සඟවා වෙනත් ස්ථානයකින් අන්තර්ජාලයට සම්බන්ධ වන බව පෙන්වීම, අවහිර කරන ලද වෙබ් අඩවි වෙත පිවිසීමට ඉඩ ලබාදීම වගේ බොහොම ජනප්‍රිය සේවාවන් VPN එකක් මඟින් ලබාගන්න පුළුවනි.

හොඳ VPN එකක් තෝරාගත යුත්තේ ඇයි?

vpntopten.com
නිසි අවබෝධයකින් තොරව VPN භාවිතා කරනා බොහෝ දෙනෙක් තෝරාගන්න VPN option එකක් වන්නේ නොමිලේ ලබාදෙන VPN එහෙමත් නැතිනම් Free VPN. නමුත් මේ Free VPN ආරක්ෂිත ද?
ඔබ VPN එකක් භාවිතා කරන්නේ ඔබගේ දත්ත, තොරතුරු, අනන්‍යතාව වගේ දේවල් වල ආරක්ෂාව පිළිබඳව ඔබ සැළකිළිමත් වන නිසයි. ඔබගේ ඒ අවශ්‍යතාවය VPN එක මඟින් ඉටුකරනවද කියන එක ගැනත් සැළකිළිමත් වීම අත්‍යවශ්‍ය යි. ඕස්ට්‍රේලියාවේ විද්‍යාත්මක පර්යේෂණ පිළිබඳ රාජ්ය ආයතනය වන Commonwealth Scientific and Industrial Research Organization මඟින් 2015 දී ප්‍රකාශයට පත්කරපු වාර්තාවකට අනුව, Google Play Store එකේ ඇති Free VPN 283ක් පිළිබඳව සිදුකළ පරික්ෂාවේ දී එම VPN වලින් 84%ක් පරිශීලක IP ලිපිනයන් ආරක්ෂා නොකරන බවට හෙළි වී තිබෙනවා. එමෙන්ම 66%ක් VPNවලින් පරිශීලකයන්ගේ අන්තර්ජාල පිවිසුම් තොරතුරු ආරක්ෂා නොකරන බවට සහ 16%ක් VPN මඟින් පරිශීලකයන්ගේ Bandwidth සොරාගැනීම සිදුකරන බවටත් සඳහන් වෙනවා. තවත් 18%ක් VPN වලින් ඒ හරහා ගමන් කරන දත්ත සහ තොරතුරු encrypt නොකරන බවටත් ඒ වාර්තාවේ සඳහන් කරලා තිබෙනවා. VPN එකකින් සිදුකළ යුතු මූලිකම කර්තව්‍යයක් තමයි දත්ත සහ තොරතුරු encrypt කිරීම. නමුත් ඒ මූලිකම අවශ්‍යතාවයවත් සම්පූර්ණ නොකරනවා කියන්නේ, ඔබට වැටහෙනවා ඇති මෙහි තිබෙන බරපතලකම.
තමන්ගේ VPN සේවාව භාවිතා කරනා පරිශීලකයන්ගේ දත්ත වෙනත් පාර්ශවවලට විකිණීම (බොහෝ Free VPN ලබාදෙන ආයතන තමන්ගේ වියදම පියවාගැනීම සිදුකරන්නේ මේ ආකාරයෙනුයි), තමන්ගේ සහෝදර වෙබ් අඩවිවලට පරිශීලකයන්ව ස්වයංක්‍රීයව යොමුකිරීම, පරිශීලකයන්ගේ Bandwidth එක සොරාගෙන වෙනත් පාර්ශවයන්ට එය විකිණීම වගේ වංචාසහගත දේවලුත් Free VPN ලබාදෙන වංචාකරුවන් විසින් නිරන්තරයෙන්ම සිදුකරනවා.
මේ නිසා එවන් වංචාකරුවන්ගේ හෝ සොරුන්ගේ ගොදුරක් නොවී VPN එකක් තෝරගද්දි මේ කරුණු ගැනත් කල්පනා කරන්න.
9to5mac.com

1. ආරක්ෂාව පළමුව

අපි ඔබගෙන් මෙහෙම ප්‍රශ්නයක් අහන්න ද? ඔබට ආරක්ෂක උමගක් නිර්මාණය කරන්න අවශ්‍යතාවයක දී ඔබ එය නිර්මාණය කරන්නේ පස් සහ වතුර මිශ්‍රකරලා හදාගත්ත මිශ්‍රණයකින්ද, නැතිනම් කොන්ක්‍රීට් මිශ්‍රණයකින්ද? උත්තරේ ඔබ දන්නවා.
VPN එකකත් වැඩි වෙනසක් නැහැ. VPN එකකත් ආරක්ෂාව රඳා පවතින්නේ එය නිර්මාණය කර තිබෙන ආරක්ෂිත උපක්‍රම මතයි.
ඔබ VPN එකක් තෝරාගනිද්දි, එහි security protocol එක පිළිබඳව විශේෂයෙන්ම සැළකිලිමත් විය යුතුයි. ඔබේ VPN සැපයුම්කරු OpenVPN, SSTP හෝ අවම වශයෙන් L2TP/Ipsec තාක්ෂණය භාවිතා කරනවද කියන දේ ගැන විශේෂයෙන්ම සැළකිලිමත් වෙන්න. මෙයින් Open VPN ආරක්ෂාව අතින් ඉදිරියෙන් සිටින්නේ. ඔබ භාවිතා කරනා VPN එක ක්‍රියාත්මක වන්නේ PPTP තාක්ෂණය යටතේ නම්, දැන්ම එයින් අයින් වෙන එක ඉතාම හොඳයි.

2. පුද්ගලිකත්වයත් වැදගත්

තමන්ගේ අනන්‍යතාවය හෙළිනොකර අන්තර්ජාලය තුළ හැසිරෙන බොහෝ අය ඉන්නවා. මේ නිසා ඔබගේ පුද්ගලිකත්වය ආරක්ෂා කරන VPN සේවා සපයන්නෙකුගෙන් සේවය ලබාගැනීමත් අතිශය වැදගත්. තමන්ගේ පරිශීලකයන්ගේ Traffic logs තබාගන්නේ නැති, ඒ වගේම පරිශීලකයන්ගේ විස්තර කුමන හේතුවක් නිසාවත් වෙනත් පාර්ශවයන් අතට පත් නොකරන VPN එකක් තෝරාගැනීම සුදුසුයි කියන එකයි අපේ නිර්දේශය.

3. ලබා දෙන ධාරිතාවය

VPN එක මඟින් ඔබට කොපමණ Bandwidth එකක් ලබාදෙනවද කියන දේ පිළිබඳව දැනුවත්ව සිටීමත් ඉතාම වැදගත්. පරිශීලකයන් මේ පිළිබඳව කරුණු හරිහැටි දැනුවත් නොවුණත්, ලබාදෙන Bandwidth එක අවසන් වූ පසු අතරමගදී VPN සේවාව ඇණහිටීම බොහෝ VPN සේවා සපයන්නන් විසින් සිදුකරන දෙයක්. මේ නිසා එවන් අපහසුතාවයන්ට පත්නොවීමට VPN සේවා සපයන්නාගේ නීති හා රෙගුලාසි පිළිබඳව හොඳ අවබෝධයක් ලබාගැනීම අවශ්‍යමයි. ඒ වගේම ඔබට හැකිනම් VPN සේවා සපයන්නා සතුව server කීයක් තියෙනව ද, එහෙමත් නැතිනම් විශාල ජාලයකට සම්බන්ධව (Amazon AWS වැනි) තමන්ගේ සේවාව ලබාදෙනවා ද යන්න පිළිබඳවත් සොයා බලන්න. තමන් සතු server සංඛ්‍යාව වැඩි වෙන තරමට ඔවුන්ගේ සුදුසුකමත් ඉහළ යනවා.

4. ප්‍රෝඩාකරුවන්ගෙන් ප්‍රවේසම්වන්න

VPN සේවාවන් ලබාදෙන ප්‍රෝඩාකරුවන් බොහෝදෙනෙක් සිටිනවා. අපි මුලිනුත් සඳහන් කළ ආකාරයට තමන්ගේ VPN එක භාවිතා කරන්නට ඉඩ දී ඔවුන් ඔබගේ දත්ත සහ තොරතුරු වෙනත් පාර්ශවයන්ට විකිණීම සහ තවත් වංචාකාරී ක්‍රියාවන් සිදුකිරීම සිදුකරනවා. මේ නිසා VPN එකක් තෝරාගන්නට පළමුව නිරන්තරයෙන් ඒ VPN සේවා දායකයන් ගැන තොරතුරු සොයාබැලීමත් වැදගත්. ඔබට අන්තර්ජාලයෙන් ඉතා පහසුවෙන් ඒ පිළිබඳව තොරතුරු ලබාගන්න පුළුවනි.

5. නොමිලේ දෙන VPN ගන්න එපා

නොමිලේ ලබා දෙන VPN සේවාවන් භාවිතා කරන්නම එපා කියන එක තමයි අපේ නිර්දේශය. VPN සේවාවක් ලබාදීමට නිශ්චිත වශයෙන්ම යම්කිසි මෙහෙයුම් පිරිවැයක් වැයවෙනවා. කවුරුන් හෝ කෙනෙක් ඒ සේවාව නොමිලේ ලබාදෙනවා කියන්නේ, තමන්ගේ වියදම් සපුරා ගැනීම වෙනුවෙන්, VPN සේවාව ලබාදෙන්නා විසින් තමන්ගේ පරිශීලකයන්ගේ තොරතුරු වෙනත් පාර්ශවයන්ට විකිණීම සිදුකිරීමට බොහෝ ඉඩක් තිබෙනවා. මේ තොරතුරුවලට ඔබගේ ඊමේල් ලිපින, passwords, බැංකු ගිණුම් අංක, ක්‍රෙඩිට් කාඩ්පත් අංක, සමාජ ජාල තොරතුරු පමණක් නොවේ, ඔබේ ඡායාරූපයන් පවා ඇතුළත් විය හැකියි. මෙහි තිබෙන බරපතල තත්ත්වය දැන් ඔබට පැහැදිලි ඇති.
ආරක්ෂිතව අන්තර්ජාලය තුළ කටයුතු කරන්න VPN එකක් භාවිතා කිරීම වැදගත්. නමුත් ඔබ VPN එකක් පාවිච්චි කරනවා නම් ඒ ගැන දැනගෙන පාවිච්චි කරන්න.